මහියංගන බුද්ධ ප්‍රතිමා වහන්සේ.

මෙත්සවිය සංවිධානය මගින්  උස අඩි 84ක් වූ අහසින් වඩින ඉරියවුවෙන් ඉදිකරන බුද්ධ ප්‍රතිමාව.

වැඩිදුර විස්තර

බුදුන් දකිමු අපි මහියංගණයේ!!!

මහියංගනය

මහියංගණය යනු සම්බුදු සිරිපා පහසින් පරම පිවිතුරු වූ ලක්දිව පළමු පුදබිමයි.

මහාවංසය ආදි ඉතිහාස ග්‍රන්ථ වල සඳහන් වන අන්දමට බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් නව වන මසහිදී දුරුතු පුර පසළොස්වක පෝ දින, එකල මහා නාග භවන නම් වූ මහියංගන භූමියෙහි යකුන් ගේ සමාගමයට වැඩ යමා මහ පෙළහර කොට යකුන් මැඩ පවත්වා ගිරි දිවයිනට යැවූ සේක.

සුමන සමන් දෙව් රජ තෙමේ බුදුන් වහන්සේගෙන් ලද අත්ලක් පමණ කේශ ධාතුන් නිධන් කොට උන්වහන්සේ වැඩ හුන් තැනම මහියංගණ ස්ථූපය ඉන්ද්‍රනීල මාණික්‍යයෙන් තැනවීය. එය සත් රියනක් උස් විය. මෙසේ බුදුන් වහන්සේ දිවමන් කල්හි දීම මහියංගණ ස්තූපය ඇතිවිය ඉක්බිති බුද්ධ පරිනිර්වාණයෙන් පසු සරභූ නම් මහරහතන් වහන්සේ සම්බුද්ධ ග්‍රීවා ධාතුව (ගෙල ඇටය) ගෙන මහියංගන ස්ථූපයෙහි තැන්පත් කොට නාග ලෝකයෙන් ගෙනා මේද වර්ණ පාෂාණයෙන් එය දොළොස් රියන් උස්කොට තැනැවුහ. ඉක්බිති දෙවන පෑතිස් රජ මලණු උද්ධචූලාභය කුමරු එම ස්තූපය තිස් රියනක් උසට ගඩොලින් බැඳ වූහ.

 එළාර යුධ පිණිස යන අතර මහියංගණයේ කඳවුරු බැඳ හුන් දුටුගැමුණු රජතුමාද පසුව මහියංගන ස්ථූපය අසූරියන් කොට බඳවා පිළිසකර කළේය. පසුකලෙක වෝහාරිකතිස්ස , දෙවන සේන, සතරවන කස්සප යන රජුන් විසිනිදු සෑය පිළිසකර කිරීම්, මහියංගණ විහාරයට ගම් බිම් පිදුම් කරනු ලැබ ඇත. 

පොළොන්නරු යුගයේ රජකළ මහා විජයබාහු, නිශ්ශංකමල්ල, කෝට්ටේ යුගයේ සවණ පරාක්‍රම බාහු, මහනුවර යුගයේ විමලධර්මසූරිය, වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ, කීර්ති ශ්‍රී රාජසිංහ යන රජවරු ද මේ සෑයෙහි නවකම් කොට පිළිසකර කරවා ලූහ. 

මෑත යුගයේදී මේ මහා සෑය පිළිසකර කිරීමේ බස් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ධාතු ගර්භය විවෘත කිරීමේදී අතිශය වටිනා පිළිම කාසි රන්කම් මැණික් ආදිය ද ඉපැරණි බිතුසිතුවම් ද සොයාගැනීම් පළමුවන බෞද්ධ ස්තූපය වන මහියංගන හෙවත් මියුගුණ සෑය බෞද්ධ ඉතිහාස ගත අතිවිශිෂ්ට පූජස්ථානයක්ව වැජඹේ.

ඉතිහාසය

බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්ව මාස නමයක් ඉකුත්වූ සැනින් ශ්‍රී ලංකාද්වීපයට වැඩම කිරීමට තීරණය කළ සේක.

උන්වහන්සේ ශ්‍රී ලංකාව ම තෝරා ගත්තේ ඇයි ? 

බෞද්ධ ධර්මයේ චිරස්ථිතිය උදෙසා සුදුසුම දේශය ශ්‍රී ලංකාද්වීපය බව උන්වහන්සේ දිව්‍ය ඥානයෙන් පසක් කරගෙන තිබිණි. බුදුන් වහන්සේ මහියංගනයට වැඩම කරන්නේ ඉන් අනතුරුවයි.

එවකට මහියංගනයේ ජීවත්වූ යක්ක ගෝත්‍රිකයෙක් මහානාග උයනට රැස්වූයේ බුදුන් වහන්සේ දැක ගැනීමටයි. මහාවංශයට අනුව ධර්ම දේශනා කිරීමට මත්තෙන් යක්ඛයන් ඉදිරියේ දී බුදුන් වහන්සේ අවකාශය හිඳ සිටිමින් ප්‍රාතිහාර්ය පා යක්ඛයන් දමනය කරන ලද සේක.ඉන්පසුව උන්වහන්සේගෙන් ධර්මය ඇසූ යක්ඛයන් මාර්ග-ඵල ලාභීන් බවට පත්විය.

එසේ සෝවාන් ඵලයට පත් වන සමන් නමැති නායකයා (අද සමන් දෙවියන් ලෙස හඳුන්වනු ලබන) බුදුන් වහන්සේ ලබා දුන් කේශ ධාතු නිදන් කර දාගැබක් ඉදිකරනු ලබයි අඩි 10ක් පමණ උස මෙම දාගැබ, ලංකාවේ පලමු දාගැබ ලෙස සලකනු ලැබේ.

ඉන්පසුව බුද්ධ පරිනිර්වාණයෙන් පසු සරභු නම් රහතන් වහන්සේ විසින් රැගෙන එනු ලබන ග්‍රීවාස්ථි ධාතුව නිධන්කර එම දාගැබ අඩි 18 ක් දක්වා විශාල කරන ලදහ. කලින් කලට විවිධ පාලකයන් යටතේ ප්‍රතිසංස්කරණයට බඳුන් වන මෙම දාගැබට නව කොත් කැරැල්ලක් පළඳන්නේ 1953-1980 ප්‍රතිසංස්කරණ කාලවකවානුවේදීය. කැරැල්ල අලංකාර කරන පලිඟුව මියන්මාරයෙන් අපට ලැබුණු ත්‍යාගයකි. මියුගුණ සෑය ලෙසද හදුන්වන මහියංගණ විහාරයේ ඇති මෙම දාගැබ බෞද්ධයන්ගේ වන්දනාවට පාත්‍රවන සොළොස්මස්ථාන වලින් එකකි.

මෙම වෙබ් පිටුව බෙදාහරින්න.